Sunday, September 30, 2018

ගුරු මාරුව.


(2018.09.23 වැනිදා 'දැන් ' පුවත්පතෙහි පල වූ ප්‍රවීන ජ්‍යොතිෂවේදී සංජීව කුළුපන බණ්ඩාර මහතාගේ විග්‍රහය)

ගුරු හෙවත් බ්‍රහස්පති 2018 ඔක්තෝබර් මස 11 වැනි බදාදා ලංකාවේ වේලාවෙන් ප:ව 07. 21 ට කුජට අයත් වෘශ්චික රාශියට ගමන් කරනවා. 2020 මාර්තු මස 31 වැනි දින තෙක් ගුරු වෘශ්චික රාශියේ කල් ගෙවනවා. 2019 අප්‍රේල් මස 10 වැනිදා පටන් අගෝස්තු මස 11 වැනිදා තෙක් කාලය තුළ ගුරු වක්‍ර වීමටද නියමිතයි.
ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහ ලොව පුරෝහිත ලෙස හැඳින්වෙනවා. දෙවියන්ටද ගුරු වන බැවින් සුරගුරු යනුවෙන්ද හඳුන්වනවා. ගුරු ප්‍රමාණයෙන් දෙවැනි වන්නේ සූර්යයාට පමණයි. රශ්මිය පැතිරවීම අතින්ද සූර්යයාට පමණක් දෙවැනි වෙනවා. සෞම්‍ය ග්‍රහයෙක් ලෙස  සැලකෙන ගුරුට ජ්‍යොතිෂයේදී විශේෂ තැනක් හිමි වෙනවා. ගඳ සුවඳ දැනීමෙන් ඇතිවෙන හැඟීම ( The Sense of smell ) ගුරු විසින් ලබාදෙනවා. යුක්තියට සාධාරණයට විනයට ආගමට දහමට අධිපති ග්‍රහයා ගුරුයි.
ගුරු වෘශ්චික රාශියට ගමන් කරන්නේ තම තේජෝ රාශියක් වූ ධනු රාශිය තුළ දුකට අධිපති සෙනසුරු කල් ගෙවන අවස්ථාවකයි. ගුරු ගමන් කරන්නේ ගුප්ත රාශියක් මෙන්ම ජල රාශියක්ද වූ වෘශ්චිකයටයි. ලංකා කේන්දරයේ දස වැනි භාවයටයි. වෘශ්චික රාශියට අදිපති කුජ මේ වන විට ශනිට අයත් මකර රාශියේ උච්ච බලයෙන් කල් ගෙවනවා. ඒ අනුව ගුරු මාරුවත් සමග කුජ, ශනි, ගුරු ග්‍රහයින් අතර ඇති වන සම්බන්ධය විශේෂයෙන් කැපී පෙනෙනවා. එසේ හෙයින් මෙවර ගුරු මාරුව රටට ලෝකයට අතිශයින් වැදගත් වෙනවා.
රටක භාණ්ඩාගාරය නියෝජනය කරන ගුරු කුජට අයත් ජල රාශියකට ගමන් කිරීම රටේ ආර්ථිකයට සුබදායක නෑ. ආර්ථිකය හෝදගෙන යන තත්වයක් ඇතිවෙනවා. ඉදිරි කාලය තුළ රටේ ආර්ථිකයේ දැඩි පසුබෑමක් ඇතිවෙනවා.
යුක්තිය සාධාරණය යටපත්වී යුක්තිය ඉස්මතු වන තත්වයක් ඇතිවෙනවා. විනය හා සදාචාරය බරපතල ලෙස නාය යෑමට ලක්වෙනවා. ආගමික පූජක උතුමන්ලා මෙන්ම ගුරු භවතුන්ද නොයෙක් චෝදනාවන්ට ලක්වෙනවා. ගෞරවනීය චරිත වෙත චෝදනා අපහාස එල්ල වෙනවා. ඇතැම් ගෞරවනීය චරිත තමන්ට නොගැළපෙන පහත කටයුතුවලට පෙළඹීම හේතුවෙන් බරපතල ලෙස දෝෂ දර්ශණයට ලක්වෙනවා. ගුරු ගෞරවය බිඳ වැටෙනවා.
නීති ක්‍ෂේත්‍රය පිළිබඳ ජනතා විශ්වාසය අඩු වෙනවා. නීති ක්‍ෂේත්‍රයේ නියැලෙන ඇතැමුන්ට චෝදනා එල්ල වෙනවා.
සමාජ සදාචාරය බිඳ වැටෙන ආකාරයේ සිදුවීම් වර්ධනය වෙනවා. සමාජ විරෝධී ක්‍රියා ඉහළ යනවා.ඇතැම් බෞද්ධ සිද්ධස්ථාන හා බෞද්ධ උරුමයන් සොර සතුරන් අතින් විනාශ වෙනවා. බෞද්ධ ඉතිහාසය විකෘති කිරීමටද ඇතැමුන් පෙළඹෙනවා.
භික්ෂූන් වහන්සේලාගේ මැදිහත් වීමෙන් බලවත් සංවිධානයක් ගොඩනැගෙන අතර ඒ වටා දේශමාමක පිරිස් ඒකරාශී වන ආකාරයද පෙනෙන්නට තිබෙනවා. ඉදිරි දේශපාලන කටයුතුවලදී භික්ෂූන් වහන්සේලාගේ මැදිහත්වීම තීරණාත්මක වෙනවා.
නොයෙක් විට සිදුවන බදු මිල වැඩිවීම් හා බදු පැනවීම් හේතුවෙන් ජනතව අසීරුතාවයට පත්වෙනවා. වර්ජන උද්ඝෝෂණ බහුල වන අතර ජන ජීවිතයටද බලපෑම් එල්ල වෙනවා.
කාලගුණ විපර්යාශ හා කෘමි රෝග හේතුවෙන් කෘෂි කර්මාන්තයට බලපෑම් එල්ල වෙනවා. ගොවි ජනතාව අසීරුතාවයට පත්වෙනවා.
බොහොමයක් දෙනා හුදු ලෞකික ආශාවන් කෙරෙහි වැඩි වශයෙන් නැඹුරු වෙනවා. යොවුන් පරපුර අතර නොයෙක් විෂමාචාර බහුල වෙනවා.
ගුරු වෘශ්චික රාශියේ කල් ගෙවන 2018. 10. 11 - 2020. 03. 31 අතර කාලය තුළ අධ්‍යාත්මික කටයුතු කෙරෙහි නැඹුරුව මෛත්‍රී සහගතව කටයුතු කිරීම වැදගත් වෙනවා.
ගුරු මාරුව හේතුවෙන් ඒ ඒ ලග්නවලට එල්ල වන බලපෑම් කෙබඳු දැයි විමසා බලමු.

මේෂ ලග්නය.
මේෂ ලග්න හිමි ඔබේ කේන්දරයේ අට වැනි භාවයට ගුරු ගමන් කිරීම එතරම් සුබදායක නෑ.
ධනය: ගුරු අට වැනි භාවයට ගමන් කිරීමත් සමග ආර්ථිකයේ සුළු පසුබෑමක් ඇතිවෙනවා. වියදම් අධික වෙනවා. ලැබෙන දේ නිරායාශයෙන් වියදම් වෙන්න පුළුවන්. මෙම තත්වය 2019.08.11 දින පටන් තරමක් වෙනස් වෙනවා.
රැකි රක්ෂා: රැකියා කටයුතු සම්බන්ධයෙන් උද්යෝගය හා උනන්දුව අඩුවෙනවා. විදේශ රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයගේ බලාපොරොත්තු ඉටුවීම ප්‍රමාද වෙනවා. කරගෙන යන ව්‍යාපාරවල තරමක පසුබෑමක් ඇතිවෙනවා.
ගෘහ ජීවිතය: විවේකය අඩුවෙනවා. පවුලේ අය වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙනවා. මානසික සහනය තරමක් අඩු වෙනවා. සතුරු බලපෑම් එල්ල වීමට ඉඩ තිබෙනවා. උරුම හිමිකම් සම්බන්දයෙන් ගැටළු මතුවෙන්න පුළුවන්. 2019.08.11 පටන් අසුබ බලපෑම් තරමක් අඩු වෙනවා. එතැන් පටන් 2020.03.31 තෙක් කාලය තුළ ක්‍රමයෙන් සතුටුදායක වාතාවරණයක් ඇතිවෙනවා.
සෞක්‍යය: අර්ශස්, මුත්‍රා අබාධවලට මෙන්ම පිත දුෂ්‍ය වීමෙන් ඇතිවන අසනීපවලටද ඉඩ තිබෙනවා.

වෘෂභ ලග්නය.
වෘෂභ ලග්නය හිමි ඔබේ කේන්දරයේ හත් වැනි භාවයට ගුරු ගමන් කරනවා. ගුරු මාරුව ඔබට සුබදායකයි.
ධනය: ආර්ථිකයේ කැපී පෙනෙන ප්‍රගතියක් ඇතිවෙනවා. සෙනසුරුගේ ඒරාෂ්ටක අපල හේතුවෙන් වරින් වර පසුබෑමට ලක්වුණු ආර්ථිකය ගුරු මාරුව හේතුවෙන් සතුටුදායක තත්වයට පත්වෙනවා. ලැබීම් වර්ධනය වෙනවා.
රැකි රක්ෂා: රැකියා කටයුතුවල විශේෂ දියුණුවක් ඇතිවෙනවා. නිසි තැන හිමි වෙනවා. කරගෙන යන ව්‍යාපාර දියුණු වෙනවා. විදේශ රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයගේ බලාපොරොත්තු ඉටුවෙනවා. විශේෂ වරප්‍රසාද හිමි වෙනවා.
ගෘහ ජීවිතය: සිතට ප්‍රීතිය ඇතිවෙනවා. යුග දිවියේ අඩදබර පැවතුණා නම් ඒවා දුරුවී සමගිය ඇතිවෙනවා. තම වැඩකටයුතුවලට අන්‍යයන්ගේ සහයෝගය හිමි වෙනවා. දරු පල අපේක්ෂාවෙන් සිටින අයට පින්වත් දරු පල හිමි වෙනවා. විවාහ කටයුතු ඉටු කරගැනීමේ බලාපොරොත්තුවෙන් සිටින අයගේ පැතුම් ඉටුවෙනවා. නිතර සතුටුවීමට කරුණු යෙදෙනවා.
සෞක්‍යය: ඒරාෂ්ටක අපල පවතින බැවින් ශරීර සෞක්‍යය සම්බන්ධයෙන් සැලකිළිමත් විය යුතුයි. අනතුරුවලට ඉඩ තිබෙනවා.

මිථුන ලග්නය.
මිථුන ලග්නය හිමි ඔබේ කේන්දරයේ හය වැනි භාවයට ගුරු ගමන් කරනවා. ගුරු හය වැනි භාවයට ගමන් කිරීමෙන් ඔබට මිශ්‍ර පල උදාවෙනවා.
ධනය: අධික වියදම් හේතුවෙන් ආර්ථිකයේ තරමක පසුබෑමක් ඇතිවෙන්න පුළුවන්. ආර්ථිකය ප්‍රවේශමෙන් මෙහෙයවීම වැදගත් වෙනවා. දරුවෙක් වෙනුවෙන් හෝ පවුලේ වෙනත් සාමාජිකයෙක් වෙනුවෙන් වැඩි වියදමක් දැරීමට සිදුවෙනවා.
රැකි රක්ෂා: රැකියා කටයුතු සම්බන්ධයෙන් උද්යෝගය හා උනන්දුව තරමක් අඩු වෙනවා. රැකියා කටයුතුවලට තරමක බාධක එල්ල වෙනවා. භාහිර කටයුතු කෙරෙහි වැඩි අවදානයක් යොමු කිරීමට සිදුවීම හේතුවෙන් රැකියා හා ව්‍යාපාර කටයුතු අඩාල වීමට ඉඩ තිබෙනවා.
ගෘහ ජීවිතය: වැඩ කටයුතු අධික වීම හේතුවෙන් විවේකය අඩු වෙනවා. අත්‍යවශ්‍ය කටයුතු තිබියදී වෙනත් කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙනවා. මෙම කාලය තුළ කරන කැපවීම්වල ප්‍රතිපල තමන්ට ලබාගැනීමට හැකි වන්නේ ලබන වසරේ අග භාගය වන විටයි. විවාහ කටයුතුවලට බාධක එල්ල වෙනවා. ගෘහ ජීවිතයේ සතුට සැනසුම වරින් වර අඩු වෙනවා.
සෞක්‍යය: උදරාශ්‍රිත අසනීප, පිත දූශ්‍යවීම හේතුවෙන් ඇතිවන අසනීප, ශරීරය කෙට්ටුවීම ආදී පීඩාවන්ට ඉඩ තිබෙනවා.

කටක ලග්නය.
කටක ලග්නය හිමි ඔබේ කේන්දරයේ පස් වැනි භාවයට ගුරු ගමන් කරනවා. ගුරු මාරුව ඔබට සුබ පල උදා කරනවා.
ධනය: ආර්ථිකයේ දියුණුවක් ඇතිවෙනවා. ලැබීම් වර්ධනය වෙනවා. තැන්පත් ධනය වර්ධනය කරගැනීමට හැකි වෙනවා. 2019.03.07 පටන් වියදම් තරමක් ඉහළ ගියද ආර්ථිකයේ අඩාල වීමක් සිදුවන්නේ නෑ.
රැකි රක්ෂා: රැකියා කටයුතුවල කැපී පෙනෙන ප්‍රගතියක් ඇතිවෙනවා. නිසි තැන හිමි වෙනවා. ව්‍යාපාර ඇරඹීමට යහපත් වටපිටාවක් සැකසෙනවා. කරගෙන යන ව්‍යාපාර දියුණුවට පත් වෙනවා. 2019.03.07 පටන් සුබ පල වර්ධනය වෙනවා. 
ගෘහ ජීවිතය: ගෙදරදොරේ සතුට සමගිය ඇතිවෙනවා. ගේදොර දේපළ ආදියේ දියුණුවක් ඇතිවෙනවා. බලාපොරොත්තු බොහොමයක් ඉටු කරගැනීමට හැකිවෙනවා. විවාහ කටයුතු ඉටු කරගැනීමේ බලාපොරොත්තුවෙන් සිටින අයට ඒ සඳහා යහපත් වටපිටාවක් සැකසෙනවා. ඥාති සම්බන්ධතා දැඩි වෙනවා. විශේෂ ගමන්වල යෙදීමට හැකිවෙනවා. බොහෝ දේවල් තමන්ට වාසිදායක අයුරින් සිදුවෙනවා.
සෞක්‍යය: ශරීර සෞක්‍යය බොහෝ දුරට යහපත් වෙනවා. 2019.03.07 පටන් වඩාත් සුබදායකයි.

සිංහ ලග්නය.
සිංහ ලග්නය හිමි ඔබේ කේන්දරයේ සිව් වැනි භාවයට ගුරු ගමන් කරනවා. ගුරු මාරුව හේතුවෙන් ඔබට මිශ්‍ර පල උදාවෙනවා.
ධනය: ආර්ථිකයට විශේෂ බලපෑමක් එල්ල වන්නේ නෑ. යහපත් ආර්ථිකයක් පවත්වාගන්න හැකිවෙනවා. 2019.03.07 පටන් ආර්ථිකය වඩාත් සතුටුදායක තත්වයකට පත් වෙනවා.
රැකි රක්ෂා: රැකියා කටයුතු කෙරෙහි උද්යෝගය උනන්දුව තරමක් අඩු වෙනවා. කෙසේ වෙතත් රැකියා කටයුතු කෙරෙහි බරපතළ බාධක අවහිර එල්ල වීමට ඉඩක් නෑ.නව ව්‍යාපාරවලට අතගැසීමට බලාපොරොත්තුවෙන් සිටිනවා නම් 2019.03.07 පටන් ඉදිරි කාලය වඩාත් සුබදායකයි.
ගෘහ ජීවිතය: ගෘහ ජීවිතයේ සතුට සැනසීම වරින් වර අඩු වෙනවා. යුග ජීවිත ගතකරන සිංහ ලග්න හිමියන් ඉවසිලිමත්ව හා බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. නිවසේ කාලය ගතකිරීම සිතට සැනසිලිදායක නොවීමට ඉඩ තිබෙනවා. නීති ප්‍රශ්නයක් මතුවීමට ඉඩ තිබෙන බැවින් සැළකිලිමත් විය යුතුයි.
සෞක්‍යය: සෙම් පීඩා, විඩාව, පපුව ආශ්‍රිත අසනීප අඩියට ඉඩ තිබෙනවා.

කන්‍යා ලග්නය.
කන්‍යා ලග්නය හිමි ඔබේ කේන්දරයේ තෙවැනි භාවයට ගුරු ගමන් කරනවා. ගුරු තෙවැනි භාවයට ගමන් කිරීම හේතුවෙන් ඔබට මිශ්‍ර පල උදා වෙනවා.
ධනය: අදායම් මාර්ගවලට වරින්වර සුළු බාධක එල්ල වන නමුත් බරපතළ බලපෑමකට ඉඩ කඩ නෑ. බොහෝ දුරට යහපත් ආර්ථිකයක් පවත්වාගැනීමට හැකි වෙනවා. පවුලේ කෙනෙක් වෙනුවෙන් සැළකිය යුතු මුදලක් වැය වෙන්න පුළුවන්.
රැකි රක්ෂා: රැකියා කටයුතුවල සුළු පසුබෑමක් ඇතිවීමට ඉඩ තිබෙනවා. රැකියා ස්ථාන වෙනස් වීමකටද ඉඩ තිබෙනවා. කෙසේ වෙතත් බරපතළ ගැටළු කරදරවලට ඉඩ කඩ නෑ. විදේශ රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයගේ බලාපොරොත්තු ඉටුවෙනවා.
ගෘහ ජීවිතය: පදිංචියේ වෙනසක් සිදුවීමට ඉඩ තිබෙනවා. නිවසේ කාලය ගතකිරීම සිතට තෘප්තිමත් නොවීමටද ඉඩ තිබෙනවා. චෝදනා අපහාස එල්ල වීමට ඉඩ තිබෙන බැවින් සැළකිලිමත් විය යුතුයි. ගමන් බහුල වෙනවා. නිෂ්පල ගමන් වෙනුවෙන් කාලය කැප කිරීමට සිදුවෙනවා. සහෝදරාදීන් සමග මත භේද ඇතිවෙන්න පුළුවන්.
සෞක්‍යය: ශරීර සෞක්‍යය සම්බන්ධයෙන් සැළකිය යුතු තරමේ ගැටළුවක් මතුවන්නේ නෑ.

තුලා ලග්නය.
තුලා ලග්නය හිමි ඔබේ කේන්දරයේ දෙවැනි භාවයට ගුරු ගමන් කරනවා. ගුරු මාරුව ඔබට සුබදායකයි.
ධනය: ආර්ථිකයේ ප්‍රගතියක් ඇතිවෙනවා. තැන්පත් ධනය වර්ධනය වෙනවා. ණය තුරුස් වී තිබුණා නම් ඒවායින් නිදහස් වීමට හැකි වෙනවා. ලැබීම් වර්ධනය වෙනවා.
රැකි රක්ෂා: රැකියා කටයුතු සම්බන්ධයෙන් සුබදායක වාතාවරණයක් ඇතිවෙනවා. අවහිර බාධා පවතුනනම් ඒවා දුරු වෙනවා. උසස්වීම් බලාපොරොත්තුවෙන් සිටින අයගේ බලාපොරොත්තු ඉටු කරගැනීමට හැකි වෙනවා. 2019.03.07 පටන් සුබ පල වර්ධනය වෙනවා.
ගෘහ ජීවිතය: මානසික පීඩා, අසමගිකම් පැවතුණා නම් ඒවා දුරුවෙනවා. මානසික ප්‍රබෝධය ඇතිවෙනවා. බලාපොරොත්තු බොහොමයක් ඉටු කරගැනීමට හැකි වෙනවා. ඥාති, හිත මිතුරු සම්බන්ධතා දැඩි වෙනවා. ගේදොර දේපළ ආදියේ දියුණුවක් ඇතිවෙනවා. වාසනා බලය වර්ධනය වෙනවා. විවාහ කටයුතුවලට එල්ල වූ බාධාවන් දුරු වෙනවා.
සෞක්‍යය: අසනීප පීඩා පැවතුණා නම් සුව අතට හැරෙනවා. ශරීර සෞක්‍යය යහපත් වෙනවා.

වෘශ්චික ලග්නය.
වෘශ්චික ලග්නය හිමි ඔබේ කේන්දරයේ පළමු භාවය වෙත ගුරු ගමන් කරනවා.ගුරු පළමු භාවය වෙත ගමන් කිරීම එතරම් සුබදායක නෑ.
ධනය: අනවශ්‍ය වියදම් ඉහළ යනවා. නොදැනුවත්කමින් හෝ දුරදිග නොබලා කරන කටයුතු හේතුවෙන් ධන හානි සිදුවෙනවා. ආර්ථිකයේ අඩාල වීමක් සිදුවෙනවා.
රැකි රක්ෂා: රැකියා කටයුතු සම්බන්ධයෙන් සතුට තෘප්තිය අඩු වෙනවා. බාධක අවහිර එල්ල වෙනවා. තත්වය පහත වැටීමටද ඉඩ තිබෙනවා. රැකියා වෙනසකටද ඉඩ තිබෙනවා.
ගෘහ ජීවිතය: මානසික සහනය වරින්වර බිඳ වැටෙනවා. කරදරයක් සිදුවේයැයි සිතට නිතර බියක් ඇතිවෙනවා.  මානසික විවේකය අඩු වෙනවා. ගෙදරදොරේ සමගිය බිඳ වැටීමට ඉඩ තිබෙනවා. නීති ප්‍රශ්නයක් මතුවීමට ඉඩ තිබෙන බැවින් සැළකිලිමත් විය යුතුයි. ගමන් බහුල වෙනවා. සිතට කළකිරීම් කනස්සලු ගති ඇතිවෙනවා. ගෞරවයට හානි සිදුවීමට ඉඩ තිබෙන බැවින් බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි.
සෞක්‍යය: ශරීර සෞක්‍යය සම්බන්ධයෙන් සැළකිලිමත් විය යුතුයි. වැටීම්, අනතුරුවලට ඉඩ තිබෙනවා. පවතින අසනීප පීඩා වර්ධනය වීමටද ඉඩ තිබෙනවා.

ධනු ලග්නය.
ධනු ලග්නය හිමි ඔබේ කේන්දරයේ දොළොස්වැනි භාවයට ගුරු ගමන් කරනවා. ගුරු මාරුව හේතුවෙන් ඔබට මිශ්‍ර පල උදාවෙනවා.
ධනය: අධික වියදම්, ධන හානි නිෂ්පල වියදම්වලට ඉඩ තිබෙනවා. පවුලේ කෙනෙක් වෙනුවෙන් මෙන්ම පොදු කටයුතු හෝ ආගමික කටයුතු වෙනුවෙන්ද මුදල් වැය වෙන්න පුළුවන්.
රැකි රක්ෂා: රැකියා කටයුතුවල තරමක පසුබෑමක් ඇතිවීමට ඉඩ තිබෙනවා. පදිංචි ප්‍රදේශයෙන් හෝ උපන් රටින් බැහැර වී රැකියා කටයුතුවල යෙදෙන අයට අසුබ බලපෑම් අඩු වෙනවා. විදේශ රැකියා සඳහා යොමු වීමට මෙම කාලය සුබදායකයි. අනුමානයට කරන ව්‍යාපාරවලින් වැළකී සිටීම වැදගත් වෙනවා.
ගෘහ ජීවිතය: අන්‍යයන් වෙනුවෙන් වැඩිපුර වෙහෙසීමට සිදුවෙනවා. ස්ථාන වෙනසකටද ඉඩ තිබෙනවා. දුර බැහැර ගමන් බහුල වෙනවා. පුණ්‍ය කටයුතුවලට සම්බන්ධවීමට සිදුවෙනවා. ඥාති හිත මිත්‍රාදීන් තරමක් දුරස් වෙනවා. අනියම් සම්බන්ධතා හේතුවෙන් ගැටළු කරදර මතුවීමට ඉඩ තිබෙනවා. මෙම කාලය තුළ කරන වැඩ කටයුතුවල ප්‍රතිපල නිවැරදිව ලැබෙන්නේ 2020.03.21 දිනෙන් පසුවයි.
සෞක්‍යය: නින්ද නොයාම, දෙපා ආශ්‍රිත වේදනා පීඩා, කන් ආශ්‍රිත අසනීප ආදියට ඉඩ තිබෙනවා.

මකර ලග්නය.
මකර ලග්නය හිමි ඔබේ කේන්දරයේ එකොළොස් වැනි භාවයට ගුරු ගමන් කරනවා. ගුරු එකොළොස් වැනි භාවයට ගමන් කිරීම සුබදායකයි.
ධනය: සෙනසුරුගේ ඒරාෂ්ටක අපල හේතුවෙන් පසුබෑමට ලක්වෙමින් තිබෙන ආර්ථිකය ගුරු මාරුවත් සමග තරමක් යහපත් අතට හැරෙනවා. ලැබීම් වර්ධනය වෙනවා. 2019.03.07 පටන් ආර්ථිකයේ සතුටුදායක තත්වයක් ඇතිවෙනවා.
රැකි රක්ෂා: රැකියා කටයුතුවල ප්‍රගතියක් ඇතිවෙනවා. උද්යෝගය උනන්දුව වර්ධනය වෙනවා. රැකියාව සම්බන්ධයෙන් අවහිර බාධක පැවතුණා නම් ඒවා දුරුවෙනවා. ව්‍යාපාර ඇරඹීමට යහපත් වටපිටාවක් සැකසෙනවා. කරගෙන යන ව්‍යාපාරවල දියුණුවක් ඇතිවෙනවා.
ගෘහ ජීවිතය: සිතට සතුට සැනසීම ඇතිවෙනවා. සෙනසුරුගේ ඒරාෂ්ටක අපල හේතුවෙන් එල්ල වෙමින් පැවති බාධක අවහිර ගුරු මාරුව හේතුවෙන් යම් තරමකට යටපත් වෙනවා. අන්‍යයන්ගෙන් උදව් උපකාර හිමිවෙනවා. උසස් බලවත් අය හඳුනාගැනීමට හැකි වෙනවා. බලාපොරොත්තු බොහොමයක් ඉටු කරගැනීමට හැකි වෙනවා.
සෞක්‍යය: ශරීර සෞක්‍යය සම්බන්ධයෙන් සැළකිලිමත් විය යුතුයි. වැටීම්, අනතුරුවලට ඉඩ තිබෙනවා.

කුම්භ ලග්නය.
කුම්භ ලග්නය හිමි ඔබේ කේන්දරයේ දස වැනි භාවයට ගුරු ගමන් කරනවා. ගුරු මාරුව හේතුවෙන් ඔබට මිශ්‍ර පල උදාවෙනවා.
ධනය: ආර්ථිකයට සැළකිය යුතු තරමේ බලපෑමක් එල්ල වන්නේ නෑ. ආර්ථිකය සාමාන්‍ය පරිදි පවත්වාගැනීමට හැකි වෙනවා. විශේෂ ධන ලාභ බලාපොරොත්තු වීමට අපහසුයි.
රැකි රක්ෂා: රැකියා කටයුතු කෙරෙහි තරමක බාධක අවහිර එල්ල වන නමුත් බරපතළ කරදරවලට ඉඩ කඩ නෑ. රැකියා කටයුතු සම්බන්ධයෙන් උද්යෝගය උනන්දුව තරමක් අඩු වෙනවා. කරගෙන යන ව්‍යාපාරවල සුළු පසුබෑමක් ඇතිවෙන්න පුළුවන්.
ගෘහ ජීවිතය: ගෙදරදොර කටයුතු වෙනුවෙන් වැඩිපුර වෙහෙසීමට සිදුවෙනවා. විවේකය අඩු වෙනවා. දේපළ ගේදොර ආදියේ යම් දියුණුවක් ඇතිවෙනවා. නිවාස සෑදීමට මෙම කාලය සුබදායකයි. කෙසේ වෙතත් මානසික සතුට සහනය වරින්වර බිඳ වැටෙනවා. ඥාතියෙක් සමග විරසකතාවයක් ඇතිවීමට ඉඩ තිබෙනවා. සතුරු බලපෑම් ඇතිවීමට ඉඩ තිබෙන බැවින් කල්පනාකාරී විය යුතුයි.
සෞක්‍යය: දණිස්, දෙපා, සන්ධි, තුනටිය ආශ්‍රිත වේදනා පීඩා මතුවීමට ඉඩ තිබෙනවා.

මීන ලග්නය.
මීන ලග්නය හිමි ඔබේ කේන්දරයේ නම වැනි භාවයට ගුරු ගමන් කරනවා. ගුරු නම වැනි භාවයට ගමන් කිරීම ඔබට සුබදායකයි.
ධනය: ආර්ථිකයේ විශේෂ දියුණුවක් ඇතිවෙනවා. තැන්පත් ධනය වර්ධනය වෙනවා. ලැබීම් ඉහළ යනවා. ණය තුරුස් වී සිටියා නම් ඒවායින් නිදහස් වීමට හැකි වෙනවා.
රැකි රක්ෂා: රැකියා කටයුතුවල විශේෂ ප්‍රගතියක් ඇතිවෙනවා. උද්යෝගය උනන්දුව ඇතිවෙනවා. උසස්වීම් වරප්‍රසාද බලාපොරොත්තුවෙන් සිටින අයගේ පැතුම් ඉටු වෙනවා. කරගෙන යන ව්‍යාපාර දියුණු වෙනවා. ව්‍යාපාර ඇරඹීමේ බලාපොරොත්තුවෙන් සිටින අයට ඒ සඳහා අවස්ථා උදාවෙනවා.
ගෘහ ජීවිතය: ගෙදරදොරේ සතුට සැනසුම ඇතිවෙනවා. ගේදොර, දේපළ ආදියේ දියුණුවක් ඇතිවෙනවා. අඩාල වී තිබුණු කටයුතු ක්‍රියාත්මක කරගැනීමට හැකිවෙනවා. අසමගිකම්,අමනාපකම් පැවතුණා නම් ඒවා දුරු වෙනවා. අන්‍යයන් අතර කැපී පෙනෙන තත්වයක් ඇතිවෙනවා. අන්‍යයන්ගෙන් සැළකිලි, උපකාර හිමි වෙනවා.
සෞක්‍යය: යහපත් සෞක්‍ය තත්වයක් පවත්වාගැනීමට හැකි වෙනවා. පැවති අසනීප සුව අතට හැරෙනවා.

ජ්‍යොතිෂවේදී සංජීව කුළුපන බණ්ඩාර